වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සාම ගිවිසුමක් ඇති කරගැනීම සඳහා ඉරාන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කටාර් රාජ්‍යයේ රැස්වෙමින් සිටින මොහොතක, දකුණු ඉරානයේ ඉලක්ක කිහිපයකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු හමුදාව තහවුරු කරයි. මෙම හදිසි ප්‍රහාරත් සමඟ දෙරට අතර පවතින සටන්විරාම එකඟතාව මෙන්ම දෝහා නුවර සිදුවන සාම සාකච්ඡා ද දැඩි අවදානමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) ප්‍රකාශ කළේ, කලාපයේ සිටින ඇමෙරිකානු සේනාංකවල ආරක්ෂාව වෙනුවෙන් මෙම “ස්වයං-ආරක්ෂක ප්‍රහාර” (self-defence strikes) එල්ල කළ බවයි. බන්ඩර් අබ්බාස් (Bandar Abbas) වරාය නගරය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව මෙම ප්‍රහාර සිදුව ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු නාවික හමුදා කපිතාන් සහ CENTCOM ප්‍රකාශක ටිම් හෝකින්ස් (Tim Hawkins) නිකුත් කළ ප්‍රකාශයකට අනුව ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක දෙකක් විය:
- ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන.
- හෝමුස් සමුද්‍ර සන්ධියේ බිම්බෝම්බ (mines) වැපිරීමට උත්සාහ කළ ඉරාන නාවික හමුදා යාත්‍රා.
පවතින සටන්විරාම කාලසීමාව තුළ ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය උපරිම ඉවසීමෙන් කටයුතු කරන අතරම, අපගේ සේනාංක ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට කපිතාන් ටිම් හොකින්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ප්‍රහාරයෙන් සිදු වූ හානිය පිළිබඳව ඇමෙරිකාව වැඩිදුර තොරතුරු හෙළි කර නොමැති අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති බවයි.
මෙම ප්‍රහාරය එල්ල වන්නේ පසුගිය අප්‍රේල් 8 වැනිදා සිට ඇමෙරිකාව සහ ඉරානය අතර නිල වශයෙන් සටන්විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමකය. ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ හේතුවෙන් දැඩි ලෙස අඩාල විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) සහ පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබෆ් (Mohammad Bagher Ghalibaf) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් මේ වන විටත් දෝහා නුවර රැඳී සිටිමින් සාම ගිවිසුමට ඇති බාධා ඉවත් කරගැනීමට උත්සාහ කරති.
සාකච්ඡා යහපත් මට්ටමකින් සිදුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ ද, තමන් කිසිසේත්ම සුළු එකඟතාවකට නොපැමිණෙන බව පවසා ඇත. ඉරානයේ පවතින ඉහළ සාන්ද්‍රණයකින් යුත් යුරේනියම් තොග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම හෝ ඇමෙරිකාවට භාරදීම සාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් විය යුතු බවට ට්‍රම්ප් සහ ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එකඟ වී තිබේ.
තමන්ගේ ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් මෙසේ අනතුරු ඇඟවීය:
“මෙය සැමටම වාසිදායක ‘මහඟු ගිවිසුමක්’ (Great Deal) විය යුතුයි. නැතහොත් කිසිදු ගිවිසුමක් ඇති වන්නේ නැහැ. එසේ වුවහොත් අප නැවතත් පෙරට වඩා විශාල සහ ප්‍රබල ශක්තියකින් යුද බිමට අවතීර්ණ වනවා. නමුත් එවැනි දෙයක් කිසිවෙකුත් බලාපොරොත්තු වන්නේ නැහැ.”
ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ කරුණු රැසක් සම්බන්ධයෙන් එකඟතාවලට පැමිණිය ද, පවතින මතභේදාත්මක කරුණු හේතුවෙන් අවසන් ගිවිසුමකට අත්සන් තැබීම කඩිනමින් සිදු කළ නොහැකි බවයි. පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය තවදුරටත් අවිනිශ්චිත මට්ටමක පවතී.
