චීනයේ උතුරු ෂාන්සි (Shanxi) පළාතේ පිහිටි “ලියුෂෙන්යු” (Liushenyu) ගල්අඟුරු පතලක සිදුවූ භයානක වායු පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර 2009 වසරෙන් පසු චීනයේ සිදුවූ දරුණුතම පතල් විපත ලෙස සැලකේ.
චීන රාජ්‍ය පුවත් සේවාවන් අනුව මෙම පිපිරීම මැයි 22 වැනිදා රාත්‍රී 7.29ට පමණ ෂාන්සි පළාතේ චාංෂි (Changzhi) නගරයට ආසන්න “ලියුෂෙන්යු” ගල්අඟුරු පතලේ දී සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ භූගතව සේවකයින් 247 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් මඟින් පිටතට ගෙන තිබුණද, බොහෝ දෙනෙකුට විෂ වායු ආඝාත හා බරපතළ තුවාල සිදුව තිබේ.
චීන බලධාරීන්ගේ මූලික විමර්ශන අනුව, ආකරය තුළ වායු සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමකට ළඟා වීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට සැක පළ වේ. විශේෂයෙන්ම කාබන් මොනොක්සයිඩ් හා මීතේන් වායු මට්ටම් ආරක්ෂිත සීමාව ඉක්මවා තිබූ බව වාර්තා වේ.
චීනයේ ජාතික කැනීම් ආරක්ෂක පරිපාලනය (National Mine Safety Administration) විසින් 2024 වසරේදී මෙම පතල “අධි වායු අවදානම්” ඇති පතල් ලැයිස්තුවට ඇතුළත් කර තිබූ බවද අනාවරණය වී තිබේ. එමෙන්ම පසුගිය කාලයේ ආරක්ෂක නීති කඩකිරීම් සම්බන්ධයෙන්ද මෙම ආකරය දඩ නියමවීම්වලට ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අනතුරෙන් පසු හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් 700කට අධික පිරිසක් මෙහෙයුම් සඳහා යොදවා තිබේ. පතලේ ප්‍රවේශ මාර්ගය අංශක 30කට ආසන්න බෑවුමක පිහිටා තිබීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය අපහසු වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටින බැවින් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. රෝහල්ගත කළ පිරිස අතර කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
චීන ජනාධිපති ෂී ජින්පින් මෙම අනතුරට පත්වූවන් සෑම උත්සහයක්ම දරා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලෙස නියෝග කර ඇති අතර, සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙසද උපදෙස් ලබාදී තිබේ.
චීන අග්‍රාමාත්‍ය ලී චියෑං ද මෙම අනතුරට වගකිව යුතු පාර්ශ්වයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර තිබේ. මේ වනවිට පතල පවත්වාගෙන ගිය සමාගමේ නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ලෝකයේ විශාලතම ගල්අඟුරු නිෂ්පාදකයා වන චීනය පසුගිය දශකයේදී පතල් ආරක්ෂාව වැඩිදියුණු කිරීමට උත්සාහ කළද, අධික නිෂ්පාදන පීඩනය, ආරක්ෂක නීති නොපිළිපැදීම සහ විෂ වායු පාලන දුර්වලතා හේතුවෙන් මෙවැනි විපත් තවදුරටත් සිදුවෙමින් පවතී. 2009 වසරේ හෙයිලොන්ජියැන්ග් (Heilongjiang) ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 108 දෙනෙකු මියගොස් තිබූ අතර, වත්මන් අනතුර එතැන් පසු සිදුවූ දරුණුතම විපත ලෙස සැලකේ.
