සීදූව මූකලන්ගමුව ප්‍රදේශයෙන් අද (21) පෙරවරුවේ සංවේදී ඝාතන සිද්ධියක් වාර්තා වී තිබේ. නිවසේ තනිව සිටි 79 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් ගමන් බෑගයක් තුළ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ කාන්තාව සමඟ දින කිහිපයක සිට සම්බන්ධතාවයක් නොමැති වීම හේතුවෙන් අසල්වැසියන් සිදුකළ දැනුම්දීමකට අනුව නිවස පරීක්ෂා කිරීමේදී මෙම සිරුර හමුවී ඇති බවයි. නිවසේ කාමරයක් තුළ තිබූ විශාල travelling bag එකක සිරුර සඟවා තිබූ අතර, එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවයක් ද ඇතිවිය.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර සඟවා තැබීමට උත්සාහ කර ඇති බවට සැක පවතින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සමීප ඥාතීන් සහ නිවසට පැමිණි පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ මියගිය කාන්තාව දිගු කාලයක් එම නිවසේ තනිව ජීවත් වූ අයෙකු බවත්, පසුගිය දින කිහිපය තුළ නිවස අසල සැකසහිත පුද්ගල චලනයන් දැක ඇති බවත්ය. කෙසේවෙතත්, ඝාතනයේ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු වැඩිදුර තොරතුරු හෙළිවනු ඇති බව සඳහන් වේ.
මෙම සිද්ධියත් සමඟම මහලු පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමුවී තිබේ. විශේෂයෙන්ම තනිව ජීවත් වන වැඩිහිටියන් සම්බන්ධයෙන් ප්‍රදේශීය මට්ටමින් නිරන්තර අවධානයක් සහ ආරක්ෂිත පද්ධති අවශ්‍ය බව සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.
