ශ්‍රී ලංකාවේ ආනයනික කිරි පිටි මිල අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉහළ දමා ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ. මෙම මිල වැඩිවීමත් සමඟ දැනටමත් ඉහළ ගොස් ඇති ජීවන වියදමට තවත් පීඩනයක් එකතු වනු ඇති බව පාරිභෝගිකයන් පෙන්වා දෙයි.
නව මිල සංශෝධනය අනුව ග්‍රෑම් 400 ක ආනයනික කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 ක පැකට්ටුවක මිල රුපියල් 125 කින් වැඩි කර ඇත. වෙළඳපොළට නිකුත් වන නව තොග සඳහා මෙම මිල ගණන් අදාළ වන බව ද ආනයනකරුවන් සඳහන් කරයි.
වෙළඳ ආරංචි මාර්ග පවසන්නේ ඩොලර් විනිමය අනුපාතයේ අඛණ්ඩ ඉහළ යාම, ආනයන වියදම් වැඩිවීම සහ ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින මිල අස්ථාවරතාව මෙම තීරණයට ප්‍රධාන හේතු වී ඇති බවයි. අද දිනයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වීම ද ආනයනකරුවන්ට අමතර පීඩනයක් වී ඇති බව වාර්තා වේ.
මෙම මිල වැඩිවීමත් සමඟ තේ කඩ, බේකරි සහ ආහාර වෙළඳසැල්වල කිරි තේ මිල ගණන් ද ඉදිරියේදී ඉහළ යාමේ අවදානමක් පවතින බව සඳහන් වේ. ඇතැම් ව්‍යාපාරික සංගම් දැනටමත් කිරි තේ කෝප්පයක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සූදානම් බව ද වාර්තා වෙයි.
