විධිමත් සම්මුඛ පරීක්ෂණ නෑ; ඇමැතිවරුන් හිතුමතේ බඳවාගත් පිරිසක් නිවාස සංවර්ධන අධිකාරියේ වරප්‍රසාද ලබති
කිසිදු විධිමත් සම්මුඛ පරීක්ෂණයකට භාජනය නොකර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත මෙලෙස බඳවාගෙන ඇති සේවකයන් විශාල පිරිසක් මේ වන විටත් වැටුප් වර්ධක සහ විවිධ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ විමර්ශන රැස්වීමකදී මෙම කරුණු කරළියට පැමිණ ඇත.
පසුගිය කාලසීමාවන් තුළ කටයුතු කළ ඇතැම් අමාත්‍යවරුන් විසින් කිසිදු නීත්‍යානුකූල පටිපාටියකින් තොරව, දේශපාලන අවශ්‍යතා මත කණ්ඩායම් වශයෙන් (තොග පිටින්) සේවකයන් ආයතනයට ඇතුළත් කර ඇති බව කමිටු විමර්ශනවලදී හෙළි විය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ලෙස හඳුන්වමින් මෙම පිරිස් බඳවාගෙන ඇති අතර, ඊට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන තිබීම විශේෂත්වයකි.
මෙලෙස අක්‍රමවත් ලෙස සේවකයන් බඳවාගෙන තිබියදීත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ තවමත් තනතුරු 707ක පුරප්පාඩු පවතින බව එහි උසස් නිලධාරීන් කමිටුව හමුවේ පිළිගත්තේය.
ආයතනය තුළ මෙතරම් සේවක අතිරික්තයක් තිබියදීත් මෙවැනි පුරප්පාඩු සංඛ්‍යාවක් ඉතිරි වීමට හේතුව කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් අධිකාරියේ උසස් නිලධාරිනියක සඳහන් කළේ, ආයතනයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයන් විශාල පිරිසක් එකවර විශ්‍රාම ගැනීම හේතුවෙන් මෙම පුරප්පාඩු මතු වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් වාර්තාවක් කැඳවීමට සහ ඉදිරි පියවර ගැනීමට කෝප් කමිටුව තීරණය කර ඇත.
