රාජ්‍ය අංශයේ ඉහළ පිළිගැනීමක් සහිත ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා වන ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. මෙවර “ශ්‍රී ලංකා රේගු බඳවා ගැනීම්” යටතේ අයදුම්පත් කැඳවීම් සිදුකරනු ලබන්නේ මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 ජූනි මස 08 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බීබීසී සිංහල සේවයට අනුව, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පිංචිහේවා මහතා සඳහන් කර ඇත්තේ මෙම විභාගය මඟින් සහකාර රේගු අධිකාරී තනතුරු සඳහා අපේක්ෂකයින් 150 ත් 160 ත් අතර සංඛ්‍යාවක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා රේගුව විවිධ විෂය පථයන්ගෙන් සමන්විත දැවැන්ත ආයතනයක් බැවින් නීතිය, තොරතුරු තාක්ෂණය, මූල්‍ය හා කළමනාකරණය, පුරාවිද්‍යාව, විද්‍යා විෂයන් (සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව) මෙන්ම මැණික් වැනි ස්වභාවික සම්පත් පිළිබඳ විවිධ ක්ෂේත්රවලින් උපාධි ලැබූවන් අයදුම් කිරීම ඉතා වැදගත් වන බව ද ඔහු පෙන්වා දී තිබේ.මූලික සුදුසුකම් කුමනවාද?
වයස සහ පුරවැසිභාවය: අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු අතර, වයස අවුරුදු 21 ත් 35 ත් අතර විය යුතුය.
අධ්‍යාපන සුදුසුකම්: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ආයතනයකින් අවම වශයෙන් වසර 3ක උපාධියක් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ. (ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නන් සුදුසුකම් නොලබන අතර, උපාධිය අවසන් කර ලේඛකාධිකාරීවරයාගේ නිල ලිපියක් ඉදිරිපත් කළ හැකි අයට අයදුම් කළ හැකිය).
භාෂා සුදුසුකම්: අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් සම්මාන (C) සාමාර්ථයක් හෝ අපොස උසස් පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විෂය සඳහා සාමාන්‍ය (S) සාමාර්ථයක් තිබිය යුතුය.
ශාරීරික සුදුසුකම්: පිරිමි අපේක්ෂකයින්ගේ උස අඩි 5 අඟල් 5 ට නොඅඩු විය යුතු අතර පපුව (පිබිදූ විට) අඟල් 33 ට නොඅඩු විය යුතුය. කාන්තා අපේක්ෂකයින්ගේ උස අඩි 5 අඟල් 3 ට නොඅඩු විය යුතුය.
තරඟ විභාගය සහ ලකුණු දීම ක්‍රමය
එළඹෙන අගෝස්තු මාසයේදී කොළඹදී පමණක් පැවැත්වීමට නියමිත මෙම තරඟ විභාගය ප්‍රධාන ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ:
අභියෝග්‍යතා පරීක්ෂණය (ලකුණු 100 – පැය 1):
භාෂා ප්‍රවීණතාවය සහ තර්කන හැකියාව මැන බැලේ.
ඉංග්‍රීසි භාෂාව (ලකුණු 100 – පැය 1.30): රචනා, කියවීම, ග්‍රහණය සහ සන්නිවේදන කුසලතා පරීක්ෂා කෙරේ.
විභාගය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යයකින් ලිවිය හැකිය. එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා අවම වශයෙන් 50% ක ලකුණු ලබා ගත යුතු අතර, ඉන්පසු කුසලතා අනුපිළිවෙල මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ. මෙහිදී අනුමත පුරප්පාඩු ප්‍රමාණයෙන් උපරිම 10% ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් වෙන් කර ඇත.
මෙම තනතුරට බඳවා ගන්නා නිලධාරීන්ට පසුව සුදුසුකම් සහ පළපුරුද්ද මත නියෝජ්‍ය රේගු අධිකාරී, නියෝජ්‍ය අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ, අධ්යක්ෂ සහ රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල් දක්වා උසස්වීම් ලැබීමේ දක්ෂ වෘත්තීය මාවතක් හිමි වේ.
අයදුම් කරන්නේ කෙසේද?
සුදුසුකම් ලත් අපේක්ෂකයින් https://applications.doenets.lk/exams යන වෙබ් අඩවිය ඔස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් අයදුම්පත සම්පූර්ණ කළ යුතුය. අයදුම් කිරීමට පෙර වෙබ් අඩවියේ ඇති උපදෙස් පත්‍රිකාව හොඳින් කියවීම අත්‍යවශ්‍ය වන අතර, අයදුම්පත වලංගු ලෙස භාරගත් බව කෙටි පණිවිඩයක් (SMS) හෝ විද්‍යුත් තැපෑල (Email) මඟින් දැනුම් දෙනු ලැබේ.

