දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 4,854කට අයත් පුද්ගලයන් 18,526 දෙනෙකු දැඩි පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. මැයි 22 වැනිදා සිට ක්‍රමයෙන් වර්ධනය වූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් පුද්ගල මරණයක් සහ එක් අයෙකුට තුවාල සිදුවීම් වාර්තා වී තිබේ.
නවතම තත්ත්ව වාර්තාවලට අනුව, නිවාස 3ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 926කට අර්ධ හානි සිදු වී ඇත.
මෙම වර්ෂාපතනය සහ තද සුළං හේතුවෙන් කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට වැඩිම බලපෑමක් එල්ල වී තිබේ. දිස්ත්‍රික්ක කිහිපයක පීඩාවට පත් ජනගහනය මෙසේය:
- ගම්පහ දිස්ත්‍රික්කය: පවුල් 3950කට අයත් පුද්ගලයින් 15313ක්
- කොළඹ දිස්ත්‍රික්කය: පවුල් 1,571කට අයත් පුද්ගලයන් 6,773ක්.
- රත්නපුර දිස්ත්‍රික්කය: පවුල් 1,389කට අයත් පුද්ගලයන් 5,268ක්.
- පුත්තලම දිස්ත්‍රික්කය: පවුල් 1,219කට අයත් පුද්ගලයන් 4,265ක්.
මීට අමතරව ගම්පහ, කළුතර, ගාල්ල, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලින් ද පීඩාවට පත් වූවන් වාර්තා වේ. අවතැන් වූ ජනතාව වෙනුවෙන් දිවයින පුරා ආරක්ෂිත මධ්‍යස්ථාන 9ක් පිහිටුවා ඇති අතර, එහි පවුල් 69කට අයත් පුද්ගලයන් 245 දෙනෙකු මේ වන විට රැඳී සිටිති.
කාලගුණ අංශවලින් විශේෂ අනතුරු ඇඟවීමක්
“දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.”
— කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් පවසයි.
තද සුළං හේතුවෙන් ගස් හා අතු කඩා වැටීම්, විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් විදුලිය විසන්ධි වීම් සහ ප්‍රවාහන ප්‍රමාදයන් සිදු විය හැකි බැවින්, තාවකාලික වැසි සහිත තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ සම්බන්ධ ඕනෑම හදිසි අවශ්‍යතාවකදී 117 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස ද දැනුම් දෙයි.
