බටහිර යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින පෙර නොඇසූ විරූ දරුණු උෂ්ණාධික කාලගුණික තත්ත්වය (Heatwave) හේතුවෙන් රටවල් රැසක දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ වසන්ත සෘතුව අවසන් වීමටත් පෙර, සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 10 සිට 15 දක්වා ඉහළ අගයකින් යුරෝපයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි.
පෘතුගාලයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ‘මෝරා’ (Mora) නගරයෙන් සෙල්සියස් අංශක 40.3 ක (40.3°C) ඉතිහාසගත ඉහළම මැයි මාසයේ උෂ්ණත්වය වාර්තා වී ඇත. මීට පෙර පෘතුගාලයේ ඉහළම මැයි මාසයේ උෂ්ණත්වය ලෙස සටහන්ව තිබුණේ 2001 වසරේ වාර්තා වූ සෙල්සියස් අංශක 40 ක අගයකි.
රටවල් රැසකට රතු සහ තැඹිලි නිවේදන
මෙම බිහිසුණු තාප තරංගය හේතුවෙන් ප්‍රංශය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ස්පාඤ්ඤය යන රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
- ඉතාලිය: අගනුවර වන රෝමය ඇතුළු ෆ්ලොරන්ස්, බොලොන්යා සහ ටියුරින් වැනි ප්‍රධාන නගර සඳහා වසරේ පළමු ‘රතු නිවේදනය’ (Red Alert) නිකුත් කර ඇත.
- ප්‍රංශය: පැරිස් අගනුවර ඇතුළු ප්‍රදේශ 17ක් සඳහා ‘තැඹිලි නිවේදන’ (Orange Alert) නිකුත් කර ඇති අතර, පැරිසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33-34 දක්වා ඉහළ ගොස් තිබේ.
- එක්සත් රාජධානිය (UK): ලන්ඩන් නුවර කියු ගාඩන්ස් (Kew Gardens) ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.1 ක වාර්තාගත ඉහළම මැයි උෂ්ණත්වය සටහන් වී ඇති අතර, අධික රශ්මිය හේතුවෙන් ජලාශ්‍රිත අනතුරුවලින් පුද්ගලයන් 11 දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.
පාසල් වැසෙයි; ප්‍රංශ විභාග අර්බුදයක
ප්‍රංශයේ අධික උෂ්ණත්වය හේතුවෙන් දකුණුදිග ‘සූස්ටන්’ (Souston) ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 53 (53°C) දක්වා ඉහළ යෑම නිසා එම පාසල තාවකාලිකව වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
කෙසේ වෙතත්, එරට ප්‍රධානතම ‘බැකලෝරියට්’ (Baccalaureate) විභාග කල් නොදමා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කිරීම නිසා ගුරු සංගම්වල දැඩි විවේචන එල්ල වී ඇත. පන්ති කාමරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යාම නිසා ගුරුවරුන්ට තමන්ගේම වියදමින් පවන් ගෙඩි (Fans) රැගෙන ඒමට සහ ජනෙල් බලහත්කාරයෙන් විවෘත කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියටත් බලපෑම්
පැරිස් නුවර පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ (French Open) ලොව අංක එකේ ක්‍රීඩක ‘ජැනික් සිනර්’ (Jannik Sinner), අධික රශ්මිය සහ විජලනය හේතුවෙන් ඇති වූ ක්ලාන්ත ගතිය සහ දැඩි විඩාව නිසා ආර්ජන්ටිනාවේ හුවාන් මැනුවෙල් සෙරුන්ඩෝලෝ හමුවේ අනපේක්ෂිත ලෙස පරාජය වී තරඟාවලියෙන් ඉවතට විසි විය.
“එය ඉතාමත් දුෂ්කර තත්ත්වයක්. නමුත් මම දේශගුණයට හෝ කාලගුණයට දොස් කියන්නේ නැහැ. අද දිනයේ මගේ ශරීරය එයට ඔරොත්තු දුන්නේ නැහැ.”
— ජැනික් සිනර්
විද්‍යාත්මක හේතුව: ‘තාප ගෝලාකාරය’ (Heat Dome)
මෙම අසාමාන්‍ය දේශගුණික විපර්යාසයට ක්ෂණික හේතුව වී ඇත්තේ යුරෝපය මුදුනේ සිරවී ඇති අධි පීඩන කලාපයක් මඟින් උණුසුම් වායුව පහළට තෙරපා රඳවා තබා ගැනීමයි. විද්‍යාඥයන් පවසන්නේ මෙය ‘තාප ගෝලාකාරයක්’ (Heat Dome) ලෙස හඳුන්වන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ යුරෝපීය දේශගුණික සේවාවන් පෙන්වා දෙන්නේ, පසුගිය වසර 30 තිස්සේ යුරෝපයේ උෂ්ණත්වය සෑම දශකයකටම සෙල්සියස් අංශක 0.56 කින් ඉහළ යමින් පවතින බවයි. ලොව වාර්තා වූ උෂ්ණාධිකම වසර 11 ම සටහන් වී ඇත්තේ 2015 වසරෙන් පසුව වන අතර, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උණුසුම් වීම සහ ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික රටාව නිසා ඉදිරි වසර කිහිපය තුළ ද මෙම තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවට අනතුරු අඟවා ඇත.
