රටේ මුදල් අච්චු ගැසීම, දේශීය මුදල් සැපයුම සහ විදේශ විනිමය අනුපාත තීරණය වීම වැනි සංකීර්ණ ආර්ථික ක්‍රියාවලීන් සම්බන්ධයෙන්, නිසි තාක්ෂණික හෝ වෘත්තීය දැනුමක් නොමැති පාර්ශවයන් විසින් සිදු කරනු ලබන පදනම් විරහිත විග්‍රහයන්ට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය සහ විවිධ වේදිකාවල සංසරණය වන, මූල්‍ය ද්‍රවශීලතාව පිළිබඳ ඇතැම් ප්‍රකාශ අතිශය නොමඟ යවන සුළු මෙන්ම ආර්ථික විද්‍යාත්මක පදනමකින් තොර ඒවා බවයි.
නිල නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව අවධාරණය කරන්නේ සාර්ව ආර්ථික විද්‍යාත්මක (Macroeconomic) මෙවලම් කළමනාකරණය කිරීම සහ එහි දත්ත විශ්ලේෂණය කිරීම සුවිශේෂී තාක්ෂණික දැනුමකින් යුතුව කළ යුත්තක් බවයි.
වාණිජ බැංකු පද්ධතියේ පවතින අතිරික්ත මුදල් (Excess liquidity) කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව විසින් සිදු කරනු ලබන සාමාන්‍ය ‘විවෘත වෙළඳපොළ කටයුතු’ (Open Market Operations) ඇතැම් පාර්ශවයන් විසින් හුදු ‘මුදල් අච්චු ගැසීමක්’ ලෙස වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව වාර්තා වේ.
මෙම විශේෂ නිවේදනය නිකුත් වන්නේ මෙරට මූල්‍ය වෙළඳපොළ තුළ වැදගත් තීරණ කිහිපයක් ක්‍රියාත්මක වන පසුබිමකය. උද්ධමන පීඩනය පාලනය කිරීම සහ රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීම වෙනුවෙන් මහ බැංකුව විසින් දැඩි මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
