ඔස්ට්‍රේලියාවේ සිට හොංකොං බලා පියාසර කරමින් තිබූ ‘කැතේ පැසිෆික්’ (Cathay Pacific) සමාගමට අයත් මගී ගුවන් යානයක් දරුණු ගුවන් කැළඹීමකට (Turbulence) ලක්වීමෙන් එහි සිටි පුද්ගලයන් දස දෙනෙකු සුළු තුවාල ලබා තිබේ.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ගුවන් තොටුපළෙන් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පියාසර කළ CX156 දරන එයාර්බස් A350-900 වර්ගයේ ගුවන් යානයයි. ගුවන් ගමන් වාර්තාවලට අනුව, යානය හොංකොං වෙත ළඟා වීමට පැය දෙකක් පමණ තිබියදී, තත්පර දෙකක වැනි කෙටි කාලයක් තුළ එහි උන්නතාංශය (altitude) හදිසියේම පහත වැටී ඇත.
යානයේ ආර්ථික පන්තියේ (Economy class) ගුවන් සේවිකාවන් විසින් මගීන්ට ආහාර පාන සැපයීමට සූදානම් වෙමින් සිටි මොහොතක මෙම අනපේක්ෂිත ගුවන් කැළඹීම සිදුව තිබේ. එහිදී සිදුවූ දැඩි සලිත වීම නිසා ආහාර රැගත් ට්‍රොලි රථ, තැටි සහ විවිධ උපකරණ ගුවන් යානය තුළ ඒ මේ අත විසිවී ගොස් ඇත. යානයේ සිටි මගීන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පවසා සිටියේ, මගීන් කෑගසමින් සිටි එම මොහොත විනෝද උද්‍යානයක ඇති ‘ඩ්‍රොප් ටවර්’ (Drop tower) ක්‍රීඩාවකින් එකවරම පහතට ඇද වැටෙන්නාක් වැනි භීතිකාජනක අත්දැකීමක් වූ බවයි.
මෙම සිදුවීමෙන් ගුවන් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සහ ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු මගීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව කැතේ පැසිෆික් සමාගම තහවුරු කළේය. 2023 මැයි 23 වන දින හොංකොං දේශීය වේලාවෙන් පෙරවරු 6:00 ට පමණ මෙම හදිසි තත්ත්වය පිළිබඳව දැනුම් දීමෙන් පසුව, පෙරවරු 6:45 ට ගුවන් යානය නිරුපද්‍රිතව හොංකොං වෙත ගොඩබස්වන ලද අතර, වහාම යානය තුළට ඇතුළු වූ වෛද්‍ය කණ්ඩායම් තුවාලකරුවන් පරීක්ෂා කර තිබේ. අනතුර නිසා ඇතිවූ කම්පනය හේතුවෙන් ඔවුන් හිසරදය, කොන්දේ, උරහිස් සහ අත්පාවල වේදනාවන්ගෙන් පීඩා විඳ ඇති බව වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුට ගුවන් තොටුපළේදීම ප්‍රතිකාර කළ අතර, ඉතිරි අටදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා තුං චුන්ග් (Tung Chung) හි පිහිටි උතුරු ලැන්ටාවු රෝහල වෙත ඇතුළත් කර ඇත. සමාජ මාධ්‍ය වෙත නිකුත් වූ ඡායාරූපවලින් ගුවන් යානයේ බිම පුරා ආහාර සහ අපද්‍රව්‍ය විසිරී තිබූ ආකාරයත්, එක් ගුවන් සේවිකාවකගේ ගෙල ප්‍රදේශයට ආරක්ෂිත ආධාරකයක් (Cervical collar) දමා ඇඳක් මතින් රැගෙන යන ආකාරයත් දක්නට ලැබුණි.
මෙම අනතුරෙන් ගුවන් යානයේ ව්‍යුහයට කිසිදු හානියක් සිදුව නොමැති බව පවසන ගුවන් සමාගම, සිද්ධිය සම්බන්ධයෙන් නිල විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව දන්වා සිටියි.
