සංවර්ධන කටයුතු තාවකාලිකව නැවතීමට ‘ඇන්ත්‍රොපික්’ සමාගමෙන් යෝජනාවක්
ලොව ප්‍රමුඛ පෙළේ කෘතිම බුද්ධි (AI) පද්ධති නිර්මාණය කරන සමාගම් ඒකාබද්ධ වී, වඩාත් දියුණු මට්ටමේ AI තාක්ෂණික සංවර්ධනයන් තාවකාලිකව නතර කිරීමට (Pause) හෝ මන්දගාමී කිරීමට පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ‘ඇන්ත්‍රොපික්’ (Anthropic) සමාගම පවසයි. වත්මන් AI තාක්ෂණය සමාජයට දරාගත නොහැකි තරම් වේගයකින් ස්වයං-වර්ධනය වෙමින් පවතින බැවින්, අනාගතයේදී එය මිනිස් පාලනයෙන් මිදී යාමේ දැඩි අවදානමක් ඇති බව සමාගම අනතුරු අඟවයි.
ප්‍රකට ‘ක්ලෝඩ්’ (Claude) චැට්බොට් මෘදුකාංගය නිෂ්පාදනය කරන ඇන්ත්‍රොපික් සමාගම සිය නිල බ්ලොග් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, වත්මන් AI පද්ධතිවලට ස්වාධීනව සංකීර්ණ කාර්යයන් කිරීමේ හැකියාව සෑම මාස හතරකට වරක්ම දෙගුණ වන බවයි. මේ හේතුවෙන් ලෝකයට අවශ්‍ය නම් මෙම තාක්ෂණයේ වේගය බාල කිරීමට හෝ තාවකාලිකව නතර කිරීමට හැකි සුදුසු යාන්ත්‍රණයක් (Option) සකස් කර තිබීම අත්‍යවශ්‍ය වේ.
ස්වයං-වැඩිදියුණු වීමේ අවදානම (Recursive Self-Improvement)
ඇන්ත්‍රොපික් සමාගම පෙන්වා දෙන්නේ වත්මන් පරිණාමීය වේගය සහ පරිගණක බලය (Computing power) අනුව, ඉදිරියේදී AI පද්ධතියකට තමන්ට වඩා බලවත් ඊළඟ AI පරම්පරාව මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයවම නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවයි. මෙය තාක්ෂණික භාෂාවෙන් හැඳින්වෙන්නේ “Recursive self-improvement” (පුනරාවර්තන ස්වයං-වැඩිදියුණු වීම) ලෙසයි.
මෙමඟින් විද්‍යා හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට විශාල ප්‍රයෝජන අත්විය හැකි වුවද, පද්ධතිය මිනිසාට පාලනය කරගත නොහැකි මට්ටමට පත්වීමේ අවදානම අතිශය ඉහළ බව එම සමාගමේ සම-නිර්මාතෘ ජැක් ක්ලාක් (Jack Clark) මහතා පවසයි.
ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතර මතභේද
ඇන්ත්‍රොපික් සමාගමේ මෙම යෝජනාවට ඔවුන්ගේ ප්‍රධානතම තරඟකරුවා වන OpenAI (ChatGPT හි නිර්මාණකරුවන්) සමාගම වෙනස්ම ප්‍රවේශයක් දක්වා ඇත. ඔවුන් පවසන්නේ AI තාක්ෂණයේ වේගය හෝ සීමාවන් තීරණය කළ යුත්තේ පෞද්ගලික සමාගම් නොව, ප්‍රජාතන්ත්‍රවාදී රජයන් විසින් බවයි.
රජයන් විසින් පනවනු ලබන නීති රීතිවලට වඩා, සමාගම් අතර එකඟතාවක් අවශ්‍ය බව ඇන්ත්‍රොපික් සමාගම පවසන්නේ, එක සමාගමක් පමණක් සංවර්ධන කටයුතු නැවැත්වුවහොත් අනාරක්ෂිත ලෙස කටයුතු කරන වෙනත් පාර්ශවයන් (Bad actors) රහසිගතව ඉදිරියට යා හැකි බැවිනි.
සයිබර් ආරක්ෂණ තර්ජන සහ නවතම සොයාගැනීම්
මෙම අනතුරු ඇඟවීම් තවදුරටත් තහවුරු කරමින්, ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ (University of Toronto) පර්යේෂණ කණ්ඩායමක් විසින් සුවිශේෂී පර්යේෂණ වාර්තාවක් නිකුත් කර තිබේ. මහාචාර්ය නිකොලස් පැපර්නොට් (Nicolas Papernot) ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම පෙන්වා දුන්නේ, AI තාක්ෂණය භාවිතයෙන් පරිගණක ජාලයන් ආක්‍රමණය කළ හැකි සහ උපාංගයෙන් උපාංගයට ව්‍යාප්ත වෙමින් තමන්ගේම හැකින් උපාය මාර්ග ස්වයංක්‍රීයව වෙනස් කරගත හැකි භයානක AI වෛරස්/පණුවන් (AI Worms) නිර්මාණය කිරීමේ හැකියාව පවතින බවයි.
“අතීතයේදී සයිබර් ප්‍රහාරකයන් ඉලක්ක කළේ බැංකු, රෝහල් හෝ විදුලි බල පද්ධති වැනි ඉහළ වටිනාකමක් ඇති ආයතනයි. නමුත් අද වන විට AI තාක්ෂණයේ පිරිවැය අවම වීම නිසා, ඔබේ නිවසේ බිම් මහලේ ඇති අත්හැර දමා තිබෙන පැරණි ලැප්ටොප් පරිගණකය පවා සමස්ත ජාලයක්ම අඩපණ කිරීමේ ප්‍රහාරක මධ්‍යස්ථානයක් කර ගැනීමට හැකියා පවතී.”
— මහාචාර්ය නිකොලස් පැපර්නොට්
ඇන්ත්‍රොපික් සහ ලෝක දේශපාලනය
මීට පෙර, ඇන්ත්‍රොපික් සමාගම විසින් නිපදවූ, සයිබර් අනාරක්ෂිතතා සහ කේතයන්හි (Code) ඇති දුර්වලතා සෙවීමට අතිශය දක්ෂ ‘ලෝඩ් මිදෝස්’ (Claude Mythos) නමැති සුවිශේෂී AI මාදිලිය හේතුවෙන් ලොව පුරා තාක්ෂණික සහ බැංකු ක්ෂේත්‍රයන්හි දැඩි කතාබහක් ඇති විය. එහි ඇති අවදානම නිසාම සමාගම එය පොදු මහජනතාවට මුදාහැරීම තහනම් කළේය.
කෙසේ වෙතත්, මෙම තාක්ෂණය අමෙරිකානු මිලිටරි ඔත්තු බැලීම් සහ ස්වයංක්‍රීය ආයුධ සඳහා ලබා දීම ඇන්ත්‍රොපික් සමාගම ප්‍රතික්ෂේප කිරීම නිසා, ට්‍රම්ප් පරිපාලනය විසින් ඇන්ත්‍රොපික් සමාගම ජාතික ආරක්ෂක අසාදු ලේඛනයට (Blacklist) ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මෙවැනි දැඩි දේශපාලනික සහ තාක්ෂණික වටපිටාවක, ඇන්ත්‍රොපික් සහ OpenAI යන සමාගම් දෙකම ඩොලර් ට්‍රිලියනයකට ආසන්න අගයකින් යුත් කොටස් වෙළඳපොළට ඇතුළත් වීමේ (IPO) දැඩි තරඟයක ද නිරත වෙමින් සිටියි.
