ධර්මශාලා — රජත් පටිදාර් (Rajat Patidar) දියත් කළ ප්‍රහාරාත්මක ඉනිම සහ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායම ලකුණු 92කින් පරදා මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට වත්මන් ශූර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් RCB කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 254ක් රැස් කළේය. මෙය IPL තරග ඉතිහාසයේ ‘ප්ලේ-ඕෆ්’ (Playoff) වටයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් විය. කෙසේ වෙතත්, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ ගුජරාට් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීම සඳහා ‘ලෙවලියුමිනේටර්’ (Eliminator) තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ අහමදාබාද්හිදී පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ (Qualifier 2) තරගයට ක්‍රීඩා කිරීමට තවදුරටත් අවස්ථාව පවතී.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පැමිණි RCB කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆිල් සෝල්ට් ආබාධයකට ලක්ව සිටියද, වෙනකටේෂ් අයියර් (19) සහ විරාත් කෝලි (43) වේගවත් ආරම්භයක් ලබා දුන්හ. මැදපෙළදී ජේසන් හෝල්ඩර් සහ රෂීඩ් ඛාන් ලකුණු වේගය පාලනය කිරීමට උත්සාහ කළද, පිටියට පිවිසි රජත් පටිදාර් තරගයේ පාලනය තමන් සතු කරගත්තේය.
පන්දුවට වඩා වේගයෙන් ලකුණු රැස්කළ පටිදාර්, පන්දු 33කදී නොදැවී ලකුණු 93ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර කිහිපයක් ඇතුළත් වූ අතර, එය IPL ඉතිහාසයේ ලකුණු 90 සීමාව පසුකළ වේගවත්ම ඉනිමකි. ඔහුට අනෙක් අන්තයෙන් කෘණාල් පාණ්ඩ්‍යා (43) මනා සහයක් ලබා දුන්නේය. අවසන් පන්දුවාර 6 තුළදී පමණක් ලකුණු 114ක් උදුරා ගැනීමට RCB පිතිකරුවෝ සමත් වූහ.
ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ මුල් කඩුලු 5ම පන්දුවාර හය (Powerplay) ඇතුළත ලකුණු 50ක් තුළ බිඳ දැමීමට RCB පන්දු යවන්නෝ සමත් වූහ.
ආරම්භක පිතිකරු සායි සුදර්ශන් (14) අවාසනාවන්ත ලෙස ‘හිට් විකට්’ (Hit Wicket) ක්‍රමයට දැවී ගිය අතර, නායක ශුබ්මන් ගිල් (02) භුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ජොස් බට්ලර් පන්දු 11කින් ලකුණු 29ක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළද, ජොෂ් හේසල්වුඩ් හමුවේ ඔහු දැවී යාමත් සමඟ ගුජරාට් පිලේ බලාපොරොත්තු සුන් විය.
අවසන් පෙළේදී රාහුල් තෙවාටියා පන්දු 40කින් වේගවත් ලකුණු 68ක් රැස් කරමින් ගුජරාට් කණ්ඩායම දරුණුතම පරාජයකින් බේරා ගැනීමට උත්සාහ කළද, ඔවුන්ගේ සියලුම ක්‍රීඩකයින් පන්දුවාර 19.3කදී ලකුණු 162කට සීමා විය. පන්දු යැවීමේදී ජේකොබ් ඩෆි ලකුණු 39කට කඩුලු 3ක් ද, භුවනේෂ්වර් කුමාර්, රාසික් සලාම් සහ කෘණාල් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් ද බිඳ දැමූහ.
කෙටි ලකුණු පුවරුව:
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්: පන්දුවාර 20කදී කඩුලු 5කට ලකුණු 254 (රජත් පටින්ද්‍ර 93*, විරාත් කෝලි 43, කෘණාල් පාණ්ඩ්‍යා 43; ජේසන් හෝල්ඩර් 2/39, කැගිසෝ රබාඩා 2/54)
- ගුජරාට් ටයිටන්ස්: පන්දුවාර 19.3කදී සියල්ලන්ම දැවී ලකුණු 162 (රාහුල් තෙවාටියා 68, ජොස් බට්ලර් 29; ජේකොබ් ඩෆි 3/39, කෘණාල් පාණ්ඩ්‍යා 2/16, භුවනේෂ්වර් කුමාර් 2/28)
