අසාද් මවුලානාගේ ප්‍රකාශය ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට අභියෝගයක් බව විත්ති පාර්ශවය පවසයි
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන මහමොළකරු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පිටු 14ක විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් CIDය පෙන්වා දෙන්නේ සුරේෂ් සලෙයි විසින් 2017 වසරේ සිට සහරාන් හෂීම්ගේ අන්තවාදී කණ්ඩායම දේශපාලන සහ ත්‍රස්තවාදී අරමුණු වෙනුවෙන් මෙහෙයවා ඇති බවයි.
කෙසේ වෙතත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලෙයි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 (Channel 4) නාලිකාවේ වාර්තා වැඩසටහනකට අදහස් දැක්වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයෙකු වන මොහොමඩ් මිල්හිලර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලබා දුන් ප්‍රකාශය මත පදනම්ව මෙම චෝදනා ගොනු කර ඇත. විත්ති පාර්ශවය අවධාරණය කළේ අධිකරණය හමුවේ හරස් ප්‍රශ්න ඇසීමකට ලක් නොකර, තෙවන පාර්ශවයක් හරහා ඉදිරිපත් වූ මෙවැනි ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගත නොහැකි බවයි. මීට අමතරව අසාද් මවුලානා යනු ද්විවිවාහ නඩුවක් සම්බන්ධයෙන් ලංකාවෙන් පලාගිය, වරෙන්තුකරුවෙකු බව ද නීතිඥවරයා මතක් කර දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් (ASG) දිලීප පීරිස් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු මෙසේය:
- අන්තවාදීන්ට මුදල් සැපයීම: 2017 වසරේ නැගෙනහිර පළාතේ ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට පත් සහරාන්ගේ සමීපතමයෙකු වූ සෙයානි මවුලවී නිදහස් කරගැනීමට යුද හමුදා බුද්ධි අංශ ප්‍රතිපාදන උපයෝගී කරගැනීම.
- රහසිගත හමුවීම්: 2018 වසරේදී පුත්තලම කරඩිපූවල් ප්‍රදේශයේදී සුරේෂ් සලෙයි විසින් සහරාන් හෂීම් ඇතුළු 06 දෙනෙකු හමු වූ බවට සාක්ෂි තිබීම.
- ප්‍රහාරයෙන් පසු මෙහෙයවීම්: ටාජ් සමුද්‍රා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් එය ව්‍යර්ථ කරගත් ජමිල් නැමැත්තා සහ ඔහුගේ ජංගම දුරකථනය භාරගන්නා ලෙස ප්‍රහාරය සිදුවූ වහාම සලෙයි විසින් අසාද් මවුලානාට උපදෙස් දීම.
- දේශපාලන සබඳතා : මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මඩකලපුව බන්ධනාගාරයේ සිටි පිල්ලෙයාන් හමුවීමට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු නිදහස් කරන බවට පොරොන්දු වීම සහ රහස් රැකගැනීම සඳහා සලෙයිව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස පත් කිරීම.
- අතීත අපරාධ චෝදනා: ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගැනීම, උපාලි තෙන්නකෝන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිටුපස ද මෙම බුද්ධි අංශ ජාලය ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වීම.
දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගෙන සිටින සුරේෂ් සලෙයි අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිඥවරුන් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගත්තේය.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේ සලෙයි ආරක්ෂක හේතුන් මත විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙසයි. එසේම, අපරාධ විධිවිධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ සලෙයිට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට ඇති ඉඩකඩට ද ඔහු විරෝධය පෑවේය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ සැකකරුවෙකුට තම නීතිඥවරුන් හමුවීමට සහ ප්‍රකාශයක් කිරීමට ඇති අයිතිය නීතිපතිවරයාට වැළැක්විය නොහැකි බවයි.
එහිදී ඇති වූ නීතිමය වාද විවාද අතරතුර, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ, සුරේෂ් සලෙයිව බන්ධනාගාරයේ අඟල් 6×4 ප්‍රමාණයේ මීයන්ගෙන් පිරුණු අමානුෂික කුටියක රඳවා තැබීමට කාදිනල්තුමා අනුමැතිය ලබා දෙන්නේද යන්නයි.
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ සැකකාර සුරේෂ් සලෙයිගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ලැබී ඇති බවයි. බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නේද නැද්ද සහ රහස් ප්‍රකාශයක් ලබා දීමට අවස්ථාව දෙන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ජූලි 01 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
