දේශපාලනය යනු සංවර්ධනයෙන් වෙන් කොට සැලකිය හැකි එකක් නොවන බවත්, රාජ්‍ය පාලනයේදී ගනු ලබන සෑම තීරණයකම හැඩතල තීරණය කරනු ලබන්නේ දේශපාලන දැක්ම මත පදනම්ව බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වෙමින්, සසෙක්ස් විශ්වවිද්‍යාලයේ (University of Sussex) සංවර්ධන අධ්‍යයන ආයතනයේ (Institute of Development Studies – IDS) 60 වන සංවත්සර උත්සවය අමතමිනි.
මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් දේශපාලන සහ ආර්ථික පරිවර්තනයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, දේශපාලනය, යහපාලනය සහ රටක සංවර්ධනය අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව මැනවින් පෙන්වා දුන්නාය.
මහජන අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වන අතරතුර ප්‍රජාතන්ත්‍රවාදී වගවීම පවත්වා ගැනීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී රජයක් මුහුණ දෙන ප්‍රධාන අභියෝග පිළිබඳව ද ඇය සසෙක්ස්හිදී අදහස් දැක්වීය.
රජයේ නව ආර්ථික සහ සමාජයීය ප්‍රතිපත්තිමය ප්‍රවේශය පැහැදිලි කරමින් අගමැතිනිය ප්‍රකාශ කළේ, මෙතෙක් කලක් සමාජයේ නිසි ඇගයීමකට ලක් නොවූ “වැටුප් ලබන සහ වැටුප් නොලබන සත්කාරක සේවාවන්” (Paid and Unpaid Care Work) ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස හඳුනා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම, පවුල සහ සමාජය වෙනුවෙන් කාන්තාවන් විසින් සිදු කරනු ලබන, නමුත් දදේනි (GDP) ගණනය කිරීම්වලට ඇතුළත් නොවන නිවෙස්ගත ශ්‍රම දායකත්වය සහ සත්කාරක ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම රජයේ ප්‍රමුඛතාවක් බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු දූත පිරිස පසුගිය සඳුදා රාත්‍රියේ ලන්ඩන්හි හීත්‍රෝ (Heathrow) ගුවන් තොටුපළෙන් බ්‍රිතාන්‍යයට ළඟා වූ අතර, එහිදී ඔවුන්ව පිළිගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා සහ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් රිචඩ් විල්ඩෑෂ් (Richard Wildash) ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විසිනි.
මෙවර සංචාරයේ ප්‍රධානතම අරමුණ වන්නේ 22 වන වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සංසදය (22nd Annual Commonwealth Education Forum) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් ආයතනයේ (COL) 2026 පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීමයි.
ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍යවරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Oxford) ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ විශේෂ සැසියක් ඇමතීමට මෙන්ම එහි විද්වතුන් සහ සිසුන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.
මීට අමතරව, බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson), විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ෂර්ලි අයෝකෝ බොච්වේ (Shirley Ayorkor Botchwey) යන මහත්ම මහත්මීන් හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව ද ඇය සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.
