ඩීසල් බලාගාර නිසා අප්‍රේල් මාසයේදී පමණක් රුපියල් බිලියන 4.5ක අමතර බරක්
රට තුළ පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාර මත යැපීමට සිදු වීම හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 4.5කට (රු. මිලියන 4,500කට) අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව විදුලිබල ක්ෂේත්රයේ නවතම දත්ත පෙන්වා දෙයි.
පසුගිය 2025 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව, මෙවර අප්‍රේල් මාසය තුළ ගල්අඟුරු මඟින් නිෂ්පාදනය කරන ලද විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 27කින් (27 GWh) සීමා වීම මීට ප්‍රධානතම හේතුව වී තිබේ.
නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ පද්ධති සක්‍රීයතාව අඩුවීම සහ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල විදුලි උත්පාදනය සීමා වීම මෙම අර්බුදයට තවදුරටත් බලපා ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) දෙවන කාර්තුවට අදාළ පිරිවැය පුරෝකථන වාර්තා මඟින් ද තහවුරු වේ.
පාඩුව සහ පිරිවැය ගණනය කිරීම්
ක්ෂේත්රයේ විශේෂඥයන් පෙන්වා දෙන පරිදි අඩුවූ ගිගාවොට් පැය 27ක විදුලි ප්‍රමාණය ඩීසල් බලාගාර හරහා උත්පාදනය කිරීමේදී සිදු වූ මූල්‍ය අලාභය මෙසේය:
- ඉන්ධන අවශ්‍යතාව: විදුලි ඒකකයක් (කිලෝවොට් පැය 1ක්) නිපදවීමට ඩීසල් ලීටර් 0.3ක් වැය වන පදනම මත, මෙම අඩුව පියවීමට ඩීසල් ලීටර් මිලියන 8.1ක් අමතරව දහනය කිරීමට සිදුව ඇත.
- විදේශ විනිමය පීඩනය: බොරතෙල් බැරලයක මිල ඩොලර් 286ක් (ලීටරයක් ඩොලර් 1.80ක්) ලෙස පැවති තත්ත්වයකදී, මෙම විදුලි ප්‍රමාණය වෙනුවෙන් පමණක් වැයවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 14.57කි.
- රුපියල් බිලියන 4.5ක බර: ඩොලරයක සාමාන්‍ය අගය රුපියල් 315ක් ලෙස ගණනය කළහොත්, අප්‍රේල් මාසයේ පමණක් දැරීමට සිදුව ඇති අමතර බිල රුපියල් බිලියන 4.5 ඉක්මවයි.
2025 වසරේ වාර්තා වූ සාමාන්‍ය විදුලි උත්පාදන පිරිවැය වන ඒකකයකට රුපියල් 72ක අවම අගය පදනම් කරගෙන වඩාත් සහනශීලීව ගණනය කළ ද, ගල්අඟුරු අඩුවීම නිසා ඇති වූ අවම මූල්‍ය පාඩුව රුපියල් බිලියන 2කට ආසන්න වෙයි.
ආර්ථිකයට සහ ගාස්තු ප්‍රතිපත්තියට එල්ල වන බලපෑම
රජය විසින් ජනතාවට සහනදායී විදුලි ගාස්තු ක්‍රමවේදයක් පවත්වාගෙන යාමට සහ ආනයනික පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන මෙවැනි තීරණාත්මක වකවානුවක, ලාභදායී මූලික විදුලි උත්පාදන (baseload generation) ක්‍රමවේද අඩාල වීම ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි.
විදුලිබල ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයින් පවසන්නේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සහ බලශක්ති ගබඩා පද්ධති (Storage Capacity) රට තුළ විධිමත්ව ස්ථාපිත කරන තෙක්, දැනට පවතින ගල්අඟුරු බලාගාර බිඳවැටීමකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙරට බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණක් බවයි.
මේ අතර, ලංකා ගල්අඟුරු සමාගම විසින් 2026/2027 වාරය සඳහා නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති අතර, ඉදිරි මාසවලදී මෙවැනි උත්පාදන හිඟයන් මඟහරවා ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රධානතම කාර්යය විය යුතු බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
