ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බටහිර ඉන්දියාව සමඟ පවතින ගුවන් සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, එළඹෙන ජූනි 19 වනදා සිට ඉන්දියාවේ අහමදාබාද් නුවර සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ගුවන් සමාගමක් වන ෆිට්ස්එයාර් (FitsAir) ආයතනය විසින් මෙම නව ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබයි.
මීට පෙර වෙනත් ගුවන් තොටුපළවල් හරහා (with stopovers) අහමදාබාද් සිට කොළඹට පැමිණීමට පැය 9කට ආසන්න කාලයක් ගත වුවද, මෙම නව ඍජු ගුවන් සේවාව හරහා එම කාලය පැය 3ක් දක්වා අඩු කර ගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ගුවන් ගමන් සේවාව සතියකට දින 3ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ගුජරාට් වැසියන් තුළ පවතින විදේශ සංචාරක ඉල්ලුම සහ ශ්‍රී ලංකාව සමඟ පවතින සංස්කෘතික බැඳීම මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වී තිබේ. ‘වෝකර්ස් ටුවර්ස්’ (Walkers Tours) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නාලක අමරතුංග මහතා පෙන්වා දෙන්නේ 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගෙන් 24%ක්ම ඉන්දියානුවන් බවයි. ඒ අනුව ඉන්දීය සංචාරකයන් 531,000කට අධික පිරිසක් පසුගිය වසරේ මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක නිලධාරීන් පවසන පරිදි මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ (Cinnamon Hotels & Resorts) ආයතනයේ කමල් මුණසිංහ මහතා සඳහන් කළේ මේ වසරේදී එම අගය තවදුරටත් ඉහළ යනු ඇති බවයි. ඉන්දියාවේ අනෙකුත් නගර සමඟ සබඳතා පැවතුණ ද, ගුජරාටයේ අහමදාබාද් යනු මෙතෙක් නිසි ලෙස ප්‍රයෝජනයට නොගත් (untapped) වටිනා වෙළඳපොළක් බව ඔහු පෙන්වා දෙයි.
MICE සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා ද මෙම නව ගුවන් ගමනාන්තය මගින් ධනාත්මක බලපෑමක් ඇති වනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයිිි පෙන්වා දෙන අතර විශේෂයෙන් ව්‍යාපාරික සමුළු, සම්මන්ත්‍රණ සහ ආයතනික උත්සව (MICE – Meetings, Incentives, Conferences, and Exhibitions) සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඉන්දීය සමාගම් තුළ පවතින උනන්දුව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධනය වී ඇති නවීන සුඛෝපභෝගී හෝටල් සහ ඒකාබද්ධ නිවාඩු නිකේතන (integrated resorts) මීට මනා පිටුවහලක් වී ඇත.
මෙම නව පියවර හරහා ඉදිරි මාසවලදී මෙරට සංචාරක ආදායම තවදුරටත් ඉහළ යනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාසය පළ කරති.
