ඕස්ට්‍රේලියාවේ අදාළ පාර්ශ්වයක් වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ විසිපහක) රජයේ ණය පියවීමේ මුදලක් පිටස්තර පිරිසක් සතු වීමේ මහා පරිමාණ මූල්‍ය සිදුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව බාර ගැනීම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපති, ආචාර්ය හර්ෂ ද සල්වා මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම රහස්‍ය වාර්තාව මුදල් කමිටු සභාපතිවරයාගේ පෞද්ගලික පරිශීලනය සඳහා යැයි දක්වමින් ඔහුගේ පෞද්ගලික නිවස වෙත තැපැල් කර තිබූ අතර, සභාපතිවරයා ඊයේ (2) එය භාර නොගෙන වහාම ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ රාජ්‍ය මුදල් පිළිබඳ සම්පූර්ණ බලය සහ වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට මිස තමාට පුද්ගලිකව නොවන බවයි.
මෙම වාර්තාව පෞද්ගලික පරිශීලනයට නොවන බවත්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සියලු සාමාජිකයන්ගේ නිරීක්ෂණය සඳහා ලබා දිය යුතු වාර්තාවක් පෞද්ගලික නිවසට එවීම මඟින් පාර්ලිමේන්තු මුදල් කමිටුව සතු වගකීම සහ බලය උදුරා ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා. එම නිසා මෙය වහාම නිල වශයෙන් පාර්ලිමේන්තුව වෙත බාර දිය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා (COPF සභාපති) පෙන්වා දී ඇත.
මෙම වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු, කාරක සභාව නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන්ට ද එය අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන බවත්, ඉන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත එය කමිටුව හමුවේ දීර්ඝ ලෙස සාකච්ඡාවට ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කුමක්ද මේ ඩොලර් ලක්ෂ 25 අර්බුදය?
මෙම මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම දේශපාලන කරළියේ ද පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයක් හටගත්තේය.
- සිදුවීම: පසුගිය නොවැම්බර් සහ ජනවාරි මාස අතර කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියාවේ පාර්ශ්වයක් වෙත සිදු කළ රජයේ ණය පියවීමේ ගනුදෙනු 10ක් (Transactions) අදාළ පාර්ශවය වෙත ලැබී නොමැති අතර, ඒවා හැකර්වරුන් හෝ පිටස්තර පිරිසක් අතට පත්ව ඇති බව අනාවරණය විය.
- ප්‍රමාදය: මේ පිළිබඳ මුල්ම සැක සහිත සලකුණු (Red Flags) ජනවාරි මාසයේදී මතු වුවද, මුදල් නිසි තැනට ලැබී නැති බව නිල වශයෙන් තහවුරු වී ඇත්තේ මාර්තු මාසයේදීය. එතෙක් වගකිවයුතු ආයතන නිහඬව සිටීම පිළිබඳව විපක්ෂය ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල කළේය.
- නියෝගය: මූලික විමර්ශනවලින් අනතුරුව, මීට මාසයකට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන්ට COPF කමිටුව නියෝග කර තිබුණේ දින 30ක් ඇතුළත මේ පිළිබඳ පූර්ණ සාක්ෂි සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් මෙලෙස අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) හරහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ද ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටී. මෙම අරමුදල් නැවත අයකර ගැනීමට නොහැකි වුවහොත්, එහි බර අවසානයේ පැටවෙන්නේ මෙරට පොදු මහජනතාව මත බව මුදල් කමිටුව මීට පෙර අනතුරු අඟවා තිබුණි.
