පල්ලේගම හේමරතන හිමියන්ගේ තනතුරු අත්හිටුවයි
මහනුවර — අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයේ කටයුතු තාවකාලිකව අධීක්ෂණය කිරීම සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා රුවන්වැලි මහසෑ විහාරාධිකාරී, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමිපාණන්ව පත් කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කර තිබේ. මල්වතු මහා විහාරය නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේය.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නාහිමිපාණන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම් මත මෙම තාවකාලික පත්කිරීම සිදුකර ඇත.
වත්මන් අටමස්ථානාධිපති මෙන්ම මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ධුරය දරන පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග වෙමින් පවතී.
මේ හේතුවෙන් සලකා බැලූ මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාව, අදාළ පාර්ශවයන් කැඳවා කරුණු විමසීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැරූ “නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක” ගෞරව උපාධිය සහ තනතුර අත්හිටුවීමට තීරණය කර ඇත. එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වී අවසන් තීන්දුවක් ලැබෙන තෙක්, අටමස්ථානාධිපති ධුරයේ කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා මෙලෙස ඥාණතිලක හිමියන්ව තාවකාලිකව පත් කර තිබේ.
නිල නිවේදනය
මල්වතු මහා විහාරීය පාර්ශවයේ ලේඛකාධිකාරී, පූජ්‍ය පණ්ඩිත ආචාර්ය පාහමුණේ සුමංගල නායක හිමිපාණන්ගේ අත්සනින් යුතුව මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
අලුතින් පත් වූ වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන්, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඇතුළු ආගමික හා සමාජීය ක්ෂේත්‍ර රැසක වගකීම් දරන, ප්‍රදේශයේ දැඩි ගෞරවයට පාත්‍ර වූ යතිවරයෙකි.
මල්වතු මහා විහාරයෙන් නිකුත් කළ නිල නිවේදනය පහත සබැඳිය මගින් බාගත කරගත හැක.
